Saturday, September 3, 2011

සමීක්‌ෂණයට අනුව මෙරට වල්අලි 5879 ක්‌ - වනජීවී ඇමැති කියයි


අනුර බාලසූරිය, ජගත් කනහැරආරච්චි

දීපව්‍යාප්ත මට්‌ටමින් පසුගියදා සිදුකරන ලද ප්‍රථම වල් අලි සමීක්‌ෂණයට අනුව මෙරට වල් අලින් 5879 ක්‌ සිටින බව වාර්තාවී ඇතැයි ගොවිජනසේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය. වල් අලි සමීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මුළු දිවයිනම ආවරණය වන පරිදි බෙදා තිබෙන වනජීවී කලාප හතේ වෙන් වෙන් වශයෙන් ගත් කල වැඩිම වල් අලි ගහනයක්‌ වාර්තාවන්නේ මහවැලි කලාපයෙනි. එය 1751 ක්‌ බවත් අඩුම අලි ගහනයක්‌ වාර්තාවන්නේ මධ්‍යම ජීවී කලාපයෙනි. එය 47 ක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නැගෙනහිර වනජීවී කලාපයේ වල් අලි ගහනය 1573 ක්‌ වශයෙනුත් වයඹ 1189 ක්‌ වශයෙනුත් දකුණ 1086 ක්‌ හා උතුර 233 ක්‌ වශයෙන් සමීක්‍ෂණ ප්‍රතිඵලවලින් වාර්තාවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමීක්‍ෂණ වාර්තාවට අනුව සමස්‌ත වල් අලි ගහනයෙන් 1107 ක්‌ අලි පැටවුන් බවත් 122 ක්‌ දළ ඇතුන් ලෙසත් හඳුනාගැනීමට හැකිවී ඇතැයි හෙතෙම කීවේය.

සමස්‌ත අලි ගහනයෙන් 1107 ක්‌ පැටවුන් සිටීම ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉදිරි පැවැත්ම යහපත් බවට සාධකයක්‌ බවත් වල් අලි සංඛ්‍යාව මෙතරම් ඉහළ අගයක්‌ ගැනීම තුළින් අප රටේ අලි සංරක්‍ෂණ වැඩපිළිවෙළ ඉතා ඉහළ මට්‌ටමින් සිදුකෙරෙන බව තහවුරු වන්නක්‌ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත මට්‌ටමින් සිදුකරන ලද ප්‍රථම වල්අලි සමීක්‍ෂණයට වනජීවී නිලධාරීන්, හමුදා නිලධාරීන්, ගම් වැසියන් ඇතුළු 3500 කට ආසන්න නිරීක්‍ෂකයින් පිරිසක්‌ සහභාගි වූ බවත් නිරීක්‍ෂණ මධ්‍යස්‌ථාන 1553 කදී මෙම සමීක්‍ෂණ කටයුතු සිදුකෙරුණු බවත් කී ඇමැතිවරයා මෙම සමීක්‍ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ වල් අලි සංරක්‍ෂණය හා කළමනාකරණය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පහසුකරලීම බවද පැවැසීය.

සියලු විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිත කර සියයට සීයක්‌ නොවූවත් උපරිම මට්‌ටමින් නිවැරැදිව මෙම සමීක්‍ෂණ කටයුතු සිදුකර ඇති බවත් ඉදිරියේදී සවිස්‌තරාත්මක වාර්තාවක්‌ නිකුත් කරන බවත් සඳහන් කළේය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ඩී. රත්නායක මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ අවස්‌ථාවට ගොවිජනසේවා හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතාද එක්‌විය.


http://www.divaina.com/2011/09/03/news04.html

No comments:

Post a Comment